තොරතුරු දැනගැනීමේ අයිතිය
ඔබේ ගම්මානයට පිවිසීමේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිසි ප්‍රමිතියට සිදුවී නොමැති බව ඔබ සිතනවාද? සුදුසුකම් සම්පූර්ණ කර තිබියදී ඔබේ දරුවාට ළඟම පාසලට ඇතුළත් වීමට නොහැකි වූවාද? දැන් ඔබට ඒ පිළිබඳව නීත්‍යානුකූලව විමසීමට අයිතියක් ඇති බව ඔබ දැන සිටියාද?
රාජ්‍යයක ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතිවාසිකම් ශක්තිමත්ව ක්‍රියාත්මක වීම සඳහා තොරතුරු වෙත ප්‍රවේශ වීමේ මහජන අයිතිය ඉතා වැදගත් සාධකයක් වේ. මහජනතාව විසින් තමන් වෙනුවෙන් තෝරා පත්කර ගනු ලබන, මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නියෝජිත ආණ්ඩුවක ක්‍රියාවන් දැන ගැනීමේ නීත්‍යානුකූල අයිතිය පුරවැසියා සතුවීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයකි. විශේෂයෙන්ම සංවර්ධන ව්‍යාපෘති සඳහා මහජන බදු මුදල් වියදම් කිරීමේදී විනිවිද භාවයෙන් යුතුව උපරිම ඵලදායිතාවයෙන් එම කටයුතු සිදු නොවේනම්, රාජ්‍ය නිලධාරින් තම රාජකාරි කාර්යක්ෂමව ඉටු නොකරනවානම් ඒ සඳහා සාධාරණය ඉටු කරවා ගැනීමට නිල වශයෙන් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් තිබිය යුතුය. එම ඌනතාව පූරණය කරමින් 2017 පෙබරවාරි මස 4 වැනිදා ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත බලගැන්වූයේ ජාත්‍යන්තරව පවා ඉහළ පිළිගැනීමට ලක්වෙමිනි.
මෙම පනත මඟින් පොදු කටයුතු සිදුකරන ආයතන සන්තකයේ, භාරයේ හෝ පාලනයේ පවතින තොරතුරු ලබා ගැනීමට හැකිය. තොරතුරු ලබාගැනීමකට අදාළව පුරවැසියෙකු විසින් කරනු ලබන ඉල්ලීමක් ප්‍රතිකේෂ්ප කළ හැක්කේ කෙනෙකුගේ පුද්ගලික තොරතුරු, ජාතික ආර්ථිකය, ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය, වාණිජ රහස් හෝ බුද්ධිමය දේපළ, පුද්ගලික වෛද්‍ය වාර්තා,පාර්ලිමේන්තු වරප්‍රසාදවලට හානි කරන තොරතුරු, අධිකරණ අපහාසය හෝ අධිකරණයේ අපක්ෂපාතී බවට හානි කරන තොරතුරු, ප්‍රසිද්ධ විභාගයක් පිළිබඳ තොරතුරු හෝ මැතිවරණ කොමසාරිස් විසින් පැවැත්වූ මැතිවරණයක් පිළිබද තොරතුරු ආදී කරුණු සම්බන්ධ ව පමණි. මෙහිදී ලිපි ලේඛන වලට සීමා නොවී සටහන්, වාර්තා,සිතියම්,පොත්, සේයාපට,පරිගණක වාර්තා, සාම්පල්, ආදේශක, හුවමාරු වන ලිපි, සන්දේශ, නීති කෙටුම්පත් ආදී ඕනෑම භෞතික ස්වරූපයකින් පවතින තොරතුරු වෙත පුරවැසියාට ප්‍රවේශය හිමිවේ.
තොරතුරු ඉල්ලුම් කරන්නේ කෙසේද?
තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු නිලධාරියා වෙත සම්පූර්ණ කරන ලද RTI 01 දරන අයදුම්පත්‍රය ගෙනවිත් හෝ තැපැල් මාර්ගයෙන් ලැබීමට සලස්වන්න. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවන අතර වාචිකව ඉල්ලීමක් කිරීමද ප්‍රමාණවත් වේ. එය ලැබුණු බවට අදාළ නිලධාරියාගෙන් ලිපියක් ලබාගන්න.
ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් දින 21 කට නොවැඩි කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමක් ප්‍රතිකේෂ්ප කළ හැකි වන්නේ RTI පනත මගින් අදාළ තොරතුර ජනතාවට නිකුත් කර නොහැකි යැයි පැහැදිලිව සඳහන් කර ඇති අවස්ථාවකදී පමණි.කෙසේ වෙතත් ලද පිළිතුර සම්බන්ධයෙන් ඔබ මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
තොරතුරු නිලධාරී
|
එස්.එම්.නිර්මලා කුමුදුනී මහත්මිය සහකාර ප්‍රාදේශීය ලේකම්
දුරකතන : 057-2222239 |
නම් කළ නිලධාරී
|
අයි.ජි.අයි.ටී. රත්නායක මහතා ප්‍රාදේශීය ලේකම්
දුරකතන : 057-2222978 |
තොරතුරු දැනගැනීමේ පනත - අයදුම්පත්‍ර
















